Friday, September 16, 2016

දිය රකුසු පැනය...

උම්මග්ග ජාතකය කියන්නෙ මහෞෂධයන්ගෙ ප්‍රඥාව පිළිබඳ කියවෙන කථාංගයක්.. ජාතක කථා වලින් විශාලම ජාතක කථාව..  හැබැයි ගොඩක් දෙනා මේක කියවන්න කම්මැලි වෙන්නෙ ලියලා තියෙන සිංහල බර වැඩි නිසයි.. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් මේ දිගු කථාවෙ එක පරිච්චේදයක් තේරෙන සිංහලට පරිවර්ථනය කරමින්ම...

ඒ කාලයේ ඉතාම නුවණ ඇති, කථාවට දක්ශ, ඉතා ධර්මිෂ්ඨ පරිබ්‍රාජිකාවක් ඒ කියන්නෙ පූජ්‍ය කාන්තාවක් හිටියා 'හේරි' කියලා... මේ හේරි පරිබ්‍රාජිකාව රජ ගෙදරින් ආහාර අරගෙන මඟුල් උයනෙ තමයි වාසය කලේ..
මහෞෂධ පණ්ඩිතයන් කියලා කෙනෙක් අපේ චූලනී  රජතුමාට සේවය කරනවා ඔහුට සමාන කරන්න තවත් කෙනෙක් නැහැ කියලා මේ පරිබ්‍රාජිකාව අහලා තිබුනා.. මෙහෙම මෙහෙම ගුණ තියෙන පරිබ්‍රාජිකාවක් රජ ගෙදර ඉන්නව කියලා මහෞෂධයනුත් අහලා තිබුනා.. ඒත් දෙන්නට දෙන්නා දැකලා තිබුනෙ නෑ..
එක දවසක් මේ පරිබ්‍රාජිකාව රජ ගෙදරින් ආහාර වළඳලා තමන්ගෙ ආශ්‍රමයට වඩිනකොට රාජ සේවයට එන මහෞෂධයන්ව දැක්කා.. ඉතින් මහෞෂධ මේ පරිබ්‍රාජිකාවට වැන්දා.. පරිබ්‍රාජිකාව මෙහෙම හිතුවා...

" මේ පණ්ඩිතයන් නුවණ තිබෙන කෙනෙක්ලු.. ඔහුගෙ නුවණ පරීක්ෂා කල යුතුයි.. කටින් කියන දේ නම් ඕනම කෙනෙකුට තේරෙනවා.. ඒත් හස්ත මුද්‍රා බැහැ.. ඒ නිසා හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්න අහන්න ඕනෙ.."

ඉතින් මෙහෙම හිතලා ඒ පරිබ්‍රාජිකාව තමන්ගෙ අත විහිදුවා.. එකෙ තේරුම තමයි
' කොහොමද පණ්ඩිතයිනි..., රජතුමන් ඔබව එරටින් මෙරටට ගෙන්වා ගෙන අත දිග හැරලා සම්පත් දීල සුවසේ රකිනවද.. නැත්ද..? '
ඉතින් පණ්ඩිතයන් දැන ගත්තා ඇය හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නය ඇහුවා කියලා ඔහු පිළිතුරු ලෙස අත මිට මෙලෙව්වා.. ඒකෙ තේරුම
' මගේ ළගට එන්න කියලා පොරොන්දු අරගෙන මගේ රටින් මාව ගෙන්වගෙන මිටින් ගත්‍ත යමක් අනුන්ට දෙන්නෙ නෑ වගේ මටත් අමුතු දෙයක් දෙන්නෙ නැහැ... '
ඒ පිළිතුර තේරුම් ගත් පරිබ්‍රාජිකාව අත උස්සලා තමන්ගේම හිස පිරි මැද්දා.. ඒකේ තේරුම
'ඉතින් අකමැත්තෙන් නම් ඇයි අපි වගේ මහන වෙන්නෙ නැත්තෙ'
කියලා..
ඒ ප්‍රශ්නයට මහෞෂධයන් තමන්ගෙ බඩ පිරි මැද්දා.. ඒකෙ තේරුම
'මා විසින් රකින්නට බඩවල් බොහෝ තිබෙන නිසා පැවිදි වන්නට බැහැ'
කියන එක..

හස්ත මුද්‍රා සංවාදයෙන් පස්සෙ මහෞෂධයන් පරිබ්‍රාජිකාවට වැදලා රාජ සේවයට ගියා..
ඉතින් මේ සම්පූර්ණ සිද්ධියම බලන් හිටියා නන්දා දේවියගෙ (රජතුමාගෙ ප්‍රධාන බිසවගෙ.) පරිවාර ස්ත්‍රීන්.. ඔවුන් රජතුමා හමුවට ගිහිල්ලා මෙහෙම කිව්වා..

'රජතුමනි  මහෞෂධ පණ්ඩිතයන් හේරි පරිබ්‍රාජිකාව එක්ක එකතු වෙලා ඔබ වහන්සෙ මරලා රජකම ගන්නවා...' කියලා මහෞෂධයන් කෙරේ රජතුමාව බිඳෙව්වා..
ඉතින් රජතුමා ඔවුන්ගෙන් ඇහුවා ඔබලා දැක්ක දෙයක්ද.. ඇසුන දෙයක්ද..... ඒ ගැන සියලු දේ කියන්න කියලා.. ඔවුන් මෙහෙම කිව්වා..

"ඊයෙ පරිබ්‍රාජිකාව දන් වළඳලා එනකොට මහෞෂධයන් මුණ ගැසුනා.. බොහෝ පිරිසක් සිටි නිසා කටින් කථා කරන්න බය වෙලා අතින් ඉඟි පෑවා..

'පණ්ඩිතයන් වහන්ස ඔබ බුද්ධිමත්.ඉතින් දඹදිව සියලුම රාජ්‍යන් ඔබට අත්පත් කර ගන්නට බැරිද'
කියලා පරිබ්‍රාජිකාව තමන්ගෙ අත විහිදලා ප්‍රශ්න කලා..
'කඩුව මිරීකා ගත්තේ නම් කිහිප දවසකින්ම රජු මරා රාජ්‍ය අත්පත් කර ගනිමි'
කියලා හැඟවෙන්න මහෞෂධයන් තමන්ගෙ අත මිට මෙලෙව්වා..
'එහෙම නම් රජුගේ හිස ගසා දමන්න'
කියලා පරිබ්‍රාජිකාව තමන්ගෙ හිස පිරි මැද්දා..
'බය නිසා හිසේ පහර වැරදිලා පැලීමක් පමණක් වුනොත්... ඒ නිසා බඩ මැදින් පහර දෙන්නම්'
කියලා මහෞෂධයන් තමන්ගෙ බඩ අතගෑවා..

රජුට මේ විදිහට කේලම් කියූ කාන්තාවන් කිව්වා ඇසුන දේ කුමකට කියන්නද මේ අපි දෑසින්ම දැක්ක ඒවා කියලා..
රජතුමා ඒක අහලා මෙහෙම හිතුවා..

'පණ්ඩිතයන් කවදාවත් එහෙම කරන්නෙ නෑ.. ඔහු කියූ දේවල් පරිබ්‍රාජිකාවගෙන් අහන්න ඕනෙ..'
රජු පරිබ්‍රාජිකාව හමුවෙලා ඇහුවා අපේ පණ්ඩිතයන් එහෙම හමු වුනේ නැද්ද ඔබට කියලා.. ඉතින් ඔහු ගේ නුවණ පරීක්ශා කරන්නට තමා කල දේත් පණ්ඩිතයන් බොහෝ බුද්ධිමත් බවත් පරිබ්‍රාජිකාව රජතුමාට කිව්වා.. මේ විදිහටම රජතුමා මහෞෂධයන්ගෙනුත් ඇහුවා.. ඔහුත් ඒ පිළිතුරම දුන් නිසා මහෞෂධයන් ගැන පැහැදිලා සෙනවිරත් ධූරයකුත් ඔහු ට දුන්නා.. ගොඩක් සම්පත් දුන්නා.. මුලු දඹදිවටම විධාන දෙන්නටත් ඔහුට පැවරුවා..
මේ රජුගෙන් මේ තරම් සම්පත් හම්බ වුන එක පණ්ඩිතයන්ට එතරම් ඇල්ලුවෙ නෑ.. ඔහු මෙහෙම හිතුවා
'රජ කෙනෙක් කිසියම් කෙනෙක් සමග වෛර වෙලා ඔහු පස් වරුවෙ නැසීමට සිතා සිටිනව නම් පෙරවරුවෙ බොහෝ සම්පත් දෙනවා. මේවා මට හොද සිතින්ද නරක සිතින් ද දුන්නෙ කියලා මම දන්නෙ නැහැ.. මෙතෙක් දවස් මුකුත් නොදී එක පාරටම මෙහෙම දුන්නෙ ඇයි..'
පන්ඩිතයන් හිතුවා මේක දැන ගන්න හොදම කෙනා පරිබ්‍රාජිකාව කියලා.. ඇයව හමු වෙලා තමන්ගෙ අදහස් කියලා විමසුවා මේ  ගැන..
පරිබ්‍රාජිකාව ඒක භාර ගත්තා.. ඊලඟ දවසෙ රජ ගෙදරට යන ගමනේදිම දිය රකුසු පැනය කියලා ප්‍රශ්නයක් හිතාගත්තා... ඒක හැමෝම ඉස්සරහ ඇහුවොත් රජතුමා පණ්ඩිතයන් ගැන වෛරයකින් හිටියත් කියන එකක් නැහැ.. ඒ නිසා තනි කරලම අහනව කියලා හිතලා
මහ රජතුමනි රහසේ කථා කිරීමට අවශ්‍ය යැයි පැවසුවා..  රජුත් සමීපයේ සිටි මිනිසුන් ඉවත් කරලා ඇයට අවස්ථාව දුන්නා..
ඇය ගාථාවකින් ප්‍රශ්නය විමසුවා..

*ඔබව වැදූ මෑණියන් තලතා දේවි, ඔබගේ නායක බිසව නන්දා දේවි,  එක කුස උපන් මළනුවන් තීක්ෂ්ණමන්ත්‍රී කුමාරයා, ඔබගේ යහළු ධනුෂේකර කුමාරයා, අග්‍ර පුරෝහිත කේවට්ට  බ්‍රාහ්මණයා, මහෞෂධ පණ්ඩිතයන් සහ ඔබ කියන මේ හත් දෙනා මාහා සමුද්‍රයේ එක නැවකින් යන්නේ යැයි සිතන්න.. එවිට මිනිසුන් කා ඇවිදින උදක රාක්ෂයෙක් මිනිස් බිල්ලක් සොයා යන ගමන් ඔබ සත් දෙනා නැඟ යන නැව දැක මුහුද දෙබෑ කරගෙන පැමිණ මෙසේ කියන්නේ යැයි සිතන්න..

"මහ රජ ඔබ සමඟ මේ නැවින් යන හය දෙනා පිළිවෙලින් දුන්නොත්  නැව අතාරිමි.."
ඉතින් මේ හය දෙනාගෙන් බිලි දීමේ පිළිවෙල කුමක්ද යැයි පරිබ්‍රාජිකාව ගාථාවකින් රජුගෙන් විමසුවා...
රජුත් ගාථාවකින්ම ඇයට පිළිතුරු දුන්නා..

"රාක්ෂයාට පළමු බිල්ලට මාගේ මෑණියන් දෙමි.. දෙවනුවට නන්දා දේවීන් දෙමි.. තුන්වනුවට මාගෙ මලණුවන් දෙමි.., හතරවනුවට මාගේ යහළුවා දෙමි, පස් වනුවට කේවට්ටයා දෙමි. පස් දෙනා දී මමත් මහෞෂධ පණ්ඩිතයනුත් පමණක් සිටින කල තවත් ඒ රාක්ෂයා බිලි ඉල්ලා සිටී නම්‍ රාජ්‍ය ගැන නොසිතා 'එම්බල මා කා පියව' යැයි පණ්ඩිතයන්ව මාගේ පිටුපසට කර මා රාක්ෂයාට බිලි වෙමි. මගේ පන තිබෙන තාක් පණ්ඩිතයන් රාක්ෂයාට නොදෙමි.."

එම ප්‍රශ්නය එතනින් නිමා විය.. නමුත් පරිබ්‍රාජිකාව මෙසේ සිතුවා..

" මම මෙහෙම ඇසූ පමණින් මේක ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ.. මුහුදු දිය මත ඉසින ලද තෙල් මෙන් පැතිර යාමට මෙය කල යුතුයි.. මාලිගයෙන් පිටත දී ජනතාව රැස් කරවා මේ ප්‍රශ්නය නැවත අසනවා.. ඔහු මේ ලෙසම පිළිතුරු දුන් විට මා අනෙක් පස් දෙනාගේම ගුණ කියා පණ්ඩිතයන්ගේ නුගුණ කියනවා.. එවිට රජු අනෙක් පස් දෙනාගේ නුගුණ කියා පණ්ඩිතයන් ගේ ගුණම කියාවි.. එවිට බෝසතාණන්ගේ ගුණ අහසෙහි පෑයූ සඳ ලෙස ප්‍රසිද්ධ වේයැයි ඇය කල්පනා කලා..
ඇය පැවසූ ලෙසම රජතුමන් පිරිස එක් රැස් කලා.. ඒ සෙනඟ මැද ඇය එම ප්‍රශ්නය ම නැවත නැගුවා.. රජු පෙර ලෙසම පිළිතුරු දුන්නා..

එවිටම පරිබ්‍රාජිකාව මෙසේ කියුවා..

"කුමක්ද රජතුමනි වැදූ මෑණියන්ගෙ ඉදලා ඔබ හය දෙනාම රාක්ෂයාට බිලිවෙන්න?? මහෞෂධ තරම් ඔබට සතුරෙක් නෑ බලනකොට.. වැදූ මව තරම් ගුණ ඇති කෙනෙක් සිටිනවද.. ඔබ ඇයව අනෙක් හැමෝටම කලින් බිලි දෙන්නෙ? කුමක්ද හේතුව... චූලනී රජු එයට මෙහෙම පිළිතුරු දුන්නා..

ඒ කථාව මෙහෙමයි...
චූලනී කුමරු කුඩා කාලයේ ඔහුගේ මව වූ තලතා දේවිය ජබ්බ නම් පුරෝහිත බමුණා සමග අනියම් සම්බන්ධයක් ඇති වුනා.. ඔවුන් දෙදෙනා එක්ව කුමරුගේ පිය රජුට වස මිශ්‍ර  ආහාරයක් දී මරණයට පත් කලා. ඉන් පසු බමුනා රජ වී කුමරුගේ මව බමුනාගේ අග මෙහෙසිය වුනා. දිනක් කුඩා කුමරු ආහාර ගන්නා අයුරු රජු (බමුනා ) බලා සිටින විට මෙහෙම දෙයක් දැක්කා.. කුමරු ආහාරයට ගනිමින් සිටියේ මී පැණි සමග කැවුම්.. ඒ පිඟාන වටේ මැස්සො පිරුණ. ඉතින් කුමාරයා තැටියෙන් පැනි බින්දු ටිකක් බිමට දැම්ම.. එතකොට තැටියෙ සිටි මැස්සො බිම තිබූ පැනි වලට ගියා.. කුමරු කරදරයක් නැතිව ආහාර ගෙන සෙල්ලම් කරන්න ගියා..
බමුණා මෙහෙම හිතුවා
'මරන්නෙත් නැතිව මැස්සන් එලවා කැවුම් කෑවා.. මොහු ජීවත්ව හිටියොත් මට රාජ්‍ය නොදෙයි..'
ඒ නිසා කුමරු මරා දැමිය යුතු යැයි සිතුවා.. මේක බිසවටත් කිවුවා.. බිසව මෙහෙම කිවුවා...
'ස්වාමියා නැති කල මට මේ කුමරුවන්ගෙනුත් වැඩක් තිබේද.. මොහුවත් මරවන්නම්'
කියලා බමුණව අස්වැසුව..  නුවණැති බිසව කුමරු බේරා ගැනීමට උපායක් කල්පනා කලා.. අරක්කැමියව ගෙන්වලා මෙහෙම කිව්වා..

'ඔබගේ පුතා වන ධනුශේකර කුමාරයාත් මගේ පුතා වන චූලනී කුමරුත් එක දවසේ උපන්නෙ. සමාන වූ කුමාර පෙරහැරින් වැඩියෙ. දෙන්නා පනට පන මිතුරන්.. ඔබ මගේ දරුවගෙ දිවි රැක දෙන්න..'

කල යුතු දේ බිසව ඔහුට කියා දුන්නා..
දවස් කීපයක්  කුමරු මුලුතැන්ගෙයෙහි අරක්කැමියා සහ ඔහුගෙ පුතා සමග විසුවා.. එක් දවසක රාත්‍රියේ එළුවන්ගෙ ඇට කැබලි මුලුතැන්ගෙයි දමා මුලුතැන් ගෙයට ගිනි තබා තුන් දෙනා පලා ගියා.. ජීවත් වීම සදහා බිසවගෙන් අරක්කැමියාට වස්තුව ලැබුනා..
ඔවුන් ගියේ මදුරට සාගලනුවරට.. ඔහුට එම රාජයයේත් අරක්කැමි තනතුර ලැබුනා.. මේ දරුවෝ කාගෙද යන්න ඒ රජු ඇසූ විට ඔහු පැවසුවෙ මේ මගේ බිරියන් දෙදෙනාගෙ දරුවො දෙන්න.. එකෙක් මා වගේ අනෙකා මෑනියන් වගේ කියලා..

මෙහෙම කාලයක් ගත වුනා. චූලනී හා ධනුශේකර කුමරුවන් රජතුමාගෙ දියණිය සමග සෙල්ලම් කරනවා.. චූලනී කුමරු ඇයට අණ දෙනවා අරක ගෙනෙන් මේක ගෙනෙන් කියලා.. වෙලාවකට  ගහනවා.. ඒත් ඇය බොහොම ආදරයෙන් ඒවා ඉවසනවා.. දරා ගන්න බැරි වෙලාවට අඩනවා.. ඒත් රජතුමා චූලනීට දඩුවම් කරාවි කියන බයට පියාණන්ට කියන්නෙ නැහැ..
නමුත් රජතුමාට චූලණීගෙ වෙනසක් දැනුනා.. මේ රජතුමාගෙ දුවක් යන්නත් තමන් අරක්කැමියාගේ පුතෙකු යන්නත් ඔහු ගනන් නොගන්නා බව රජතුමා දැක්කා.. ඔහු කැවුම් කනකොටත් උදුරලා කනවා රජු  දැක්කා.. දවසක් මොහු සෙල්ලම් කරමින් සිටි බඹරය රජතුමාගෙ  යහන යටට ගියා. රජුගෙ ඇඳ යටට  හිස නැමීම රජුට හිස නැමීමක් කියලා හිතපු චූලනී කුමාරයා දණ්ඩකින් බඹරය ගත්තා.. මේ සියල්ල අධ්‍යනය කරපු රජු අරක්කැමියා කැඳවලා විස්තරේ ඇහුවා.. ඒත් ඔහු ආයෙම බොරු කියන්න ලෑස්ති වුනා.. ඒත් රජතුමා නියෝග කලාම ඇත්ත කිවුවා.. පසුව රජු තමන්ගෙ දියණිය සරසලා චූලනී කුමාරයාට විවාහ කරලා දුන්නා..

පිළිස්සුන එළු ඇට බමුනාට පෙන්වලා බිසව කිව්වා කුමරු මිය ගිහින් කියලා.. බමුණා ඒවා දැකලා ගොඩක් සතුටු වුණා..


මේ කථාව අසා සිටි පරිබ්‍රාජිකාව රජුට මෙහෙම කිව්වා.. ඉතින් ඔබගේ මෑණියන් උපායකින් ඔබගේ ජීවිතයත් රැක්කා.. කුමන වරදකටද ඇයව පළමුවෙන්ම ජල රාක්ෂයාට දෙන්නෙ...

එතකොට රජතුමා මෙහෙම කිව්වා.

මෑණියන් බොහෝ වයස්ගතයි නමුත් බාල ස්ත්‍රීන් පළඳන  මිණිමෙවුල්දම් ආදිය පළඳනවා.. මම අමාත්‍යමණ්ඩලය සමග සිටිනකොට හැමදෙනාටම පෙනෙන්නට ඇවිදිනවා.. එම ආභරණ වල ශබ්දයත් ඇසෙනවා.. අමාත්‍යමණ්ඩලය මුහුනට මුහුණ බලා ගන්නා විට මට ඇති වන ලැජ්ජාවෙන් මම කර බා ගන්නවා.. ඇය දොරටුපාල කොල්ලන් හා ඇත්ගොව්වන් කැදවා ඔවුන් සමග මහ හඩින් සිනාසෙනවා.. අනෙක් රාජ්‍ය වල රජදරුවන්ට ලියුම් යවනවා මා යැවූ ලෙසට මගේ මෑනියන් මැහැලි නොවේ ඇයව විවාහ කර ගන්න ආදී ලෙසට කියලා.. එම රජදරුවන් බයෙන් මට එවන ලිපි රාජසභාවේ මහ හඩින් කියවෙන විට ලැජ්ජාව නිසා හිස හංගා ගන්නට තැනක් සොයනවා මම.. මේ හේතූන් නිසා මම මෑණියන්ව රකුසාට දෙමි.."

එවිට හේරි පරිබ්‍රාජිකාව මෙසේ විමසුවා..
ඔබගෙ බිසව නන්දාදේවී කුඩා කාලයේ ඉදලා ඔබට ඇය තරම් කෙනෙක් හිටියෙ නැහැ.. කුඩා කාලයේදි ඔබ ඇයට පහර දෙන බව ඇය දෙමව්පියන්ට කිව්වෙත් නැහැ ඔබ කෙරෙහි තිබූ සෙනෙහස නිසා.. ඇය ඔබගේ දහසය දහසක් බිසවුන්ට නායක බිසව.. සියලු පංච කල්‍යානයන් ඇය සතුයි.. කුමක් නිසාද ඇයව දෙවනුවට ජල රකුසාට දෙන්නෙ..?"

රජු මෙහෙම පිළිතුරු දුන්නා..

"ඇය මාව රාගයෙන් වසඟ කරගෙන මා අනෙක් බිසවුන්ට හා ඔවුන්ගේ දරුවන්ට දුන් ආභරණ ඉල්ලනවා.. මාත් එම අවස්ථාවන් වලදී ඇයට නතු වෙලා දරුවන්ගෙන් හා බිසෝ වරුන්ගෙන් මා දුන් ආභරණ ආපසු උදුරා ගෙන නන්දා දේවීන්ට දෙනවා.. රජු විසින් මට දුන්නේ යැයි දරුවන් හඩන විට මට ශෝකයක් ඇති වෙනවා.. නැවත භාණ්ඩාගාරයෙන් මා ඔවුන්ට යමක් දී ඔවුන්ව සනසනවා..  මේ දොම්නස් සියල්ල ඇය නිසයි.. එම නිසා මා ඇයව දෙවනුව රාක්ෂයාට බිලි දෙනවා.."

පරිබ්‍රාජිකාව මෙසේ ඇසුවා..

"ඔබගේ මළනුවන් රාක්ශයාටදෙන්නේ කුමක් නිසාද.. ඔබගේ මව වන තලතා දේවිය ඔබගෙ පියාව මරා මහලු බමුනා සමග ජීවත් වන විට උපන්න කෙනෙක් ඔබේ මළණුවන් වන තීක්ෂණමන්ත්‍රී කුමාරයා..නමුත් ඔහු මියගිය රජුගේ පුත්‍රයෙක්. ඔහු ඒ බව නොදැන තමන්ගෙ පියා බමුණා යැයි සිතා ඔහුට කීකරුව ජීවත් වුණා.. නමුත් ඔහුට දිනක් අමාත්‍යවරයෙකුගෙන්  ආරංචි වුනා තමන්ගෙ පියාව මරා දැමුවෙ  මේ බමුණා බව.. ඔහු බොහෝ කෝප වී බමුණා මරා දැම්මා.. ඉන් පසු ඔබ සිටින්නේ කොහේදැයි මෑණියන්ගෙන් අසා ඔබව ගෙන්වා රජකම ලබා දුන්නා.. ඉතින් එසේ වූ සහෝදරයාව ඔබ රාක්ෂයාට දෙන්නෙ කුමක් නිසාද..? "

රජු මෙහෙම පිළිතුරු දුන්නා..

"මාව මේ නුවරට ගෙනවා රජකම ලබා දුන්නේ ඔහු කියාත් දුනු ඇදීම ආදියට ඔහුට වඩා දක්ශ කෙනෙක් නැහැ කියාත් ඔහු සිතා සිටිනවා.. ඉස්සර ඔහු රාජ සේවයට එන්නෙත් හැමෝටම කලින්. ඒත් දැන් ඔහු මෙම උද්දච්චකම නිසා ප්‍රමාද වෙලයි එන්නෙ.. ඇතැම් වෙලාවට එන්නෙත් නැහැ.. ඒ නිසයි මම ඔහුව තුන්වනුවට දෙන්නෙ.."

පරිබ්‍රාජිකාව මෙසේ විමසුවා..

"රජතුමනි, ධනුශේකර කුමාරයා ඔබගේ හොදම මිත්‍රය.. එකම දවසෙයි උපන්නෙ. ඔබගෙ හෙවනැල්ල වගේ දුක සැප දෙකේම හිටියා.. ඇයි ඔහු ව රාක්ෂයාට දෙන්නෙ..? "

රජු මෙසේ පිළිතුරු දුන්නා..

"ඔහු කුඩා කල සිටම මාත් සමග එකට කා බී සිටියා.. මා රජවූ පසුත් ඔහු ඒ පුරුද්දම ගෙන මට ගෞරවාදරයක් නෑ.. මගේ බිසවුන් සමඟත් තනිව කථාකිරීමට යනවා කිසිදු බියක් නැතිව.. ඔහුට මා හමුවට පැමිනෙන්න පැවසුවත් ඔහු එන්නෙ නැහැ මා ඔහු හමුවට යන තෙක්ම.. මේ හේතු නිසා ඔහුව සිව් වනුව රාක්ෂයාට දෙමි."

මීලගට පරිබ්‍රාජිකාව මෙසේ විමසුවා..

"මහ රජානෙනි, කේවට්ට බමුණන් අනුන් සිතූ දෙයක් කීමට දක්ශයෙක්. දුටු සිහින වල වැඩ අවැඩ කිව හැකියි.. සියලු උපායන් වල දක්ශයෙක්. ඔහුව කුමක් නිසා ද රාක්ෂයාට බිලි දෙන්නෙ..? "

"මා අමාත්‍ය මණ්ඩලය පිරිවරා සිටින විට.. ඔහු තමාගේ ඇහි බැම රැලි නගා ගෙන කෝපයෙන් බලන අයෙක් මෙන් ඇස් රතු කරගෙන මා දෙස බලනවා.. ඔහුගේ ස්වරූපය රාක්ෂයෙකු මෙන්. සිහිනෙන් දුටුවෙක් බයවන තරම් ඔහුගේ රූප විලාශය.. මෙම විරූප බැලුම් නිසා මා ඔහුව රාක්ශයාට දෙමි.."

අවසානයේ පරිබ්‍රාජිකාව මෙසේ ඇසුවා..

"රජතුමනි.. වැදූ මව ආදී පස් දෙනෙකු දන් දී ඔබගේ ජීවිතයත් අලුයම හෙලූ කෙල පිඩක් සේ නොසිතා මහෞෂධයන් ගේ ජීවිතය බේරා ගන්නේ කුමක් නිසාද...? "

රජු මෙසේ පිළිතුරු දුන්නා..

"මහෞෂධයන්ගෙ ගුණ කෙලවරක් නැහැ.. මෙසේ ගුණ හා නුවණ ඇති පණ්ඩිත කෙනෙක් මේ ලෝකයේ ඉපදී නැහැ.. මතුවට ඉපදෙන්නේත් නැහැ.. එම නිසා ඔහුගේ ගුණයන්ගෙන් ස්වල්ප මාත්‍රයක් ඉඳිකටු සිදුරකින් අහස බලන්නක් සේ මෙසේ කියමි"
කියා මහෞෂධයන්ගෙ බොහෝ ගුණ පැවසුවා..

උම්මග්ග ජාතකය නිම වන්නේ මෙම දිය රකුසු පැනයෙන්...

~මුදී~

No comments:

Post a Comment